ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් පිරිපුන්, විවිධත්වයෙන් යුක්ත රටක්. මේ පුංචි දිවයින ඇතුළේ අපිට ගවේෂණය කරන්න, අත්විඳින්න ඕන තරම් දේවල් තියෙනවා. අන්න ඒ නිසානෙ ලෝකෙ වටෙන්ම සංචාරකයින් ලක්ෂ ගණනක් අපේ රටට ඇදෙන්නෙ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබ දේශීය සංචාරකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ travel කරද්දී enjoy කරන්න පුළුවන් හොඳම දේවල් කිහිපයක් ගැන.

සුන්දර වෙරළ තීරයන් සහ ඒවායේ විනෝද ක්‍රියාකාරකම්

ලංකාව වටේටම තියෙන හැම වෙරළකම විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ හික්කඩුව, උණවටුන වගේ වෙරළවල surfing කරන්න පුළුවන්. ත්‍රිකුණාමලය, නිලාවේලි වගේ වෙරළවල snorkeling, scuba diving කරන්න පුළුවන්. ඒ වගේම මීගමුව, ගල්කිස්ස පැත්තේ තියෙන වෙරළවල ඉර බැහැගෙන යන දර්ශනය නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැම වෙරළකම වගේ රසවත් මුහුදු ආහාරත් රස විඳින්න පුළුවන්.

ඔයා වෙරළතීර ආශ්‍රිතව සංචාරය කරන්න හිතනව නම්, වෙරළ තීරයේදී ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම හිරු එළියෙන් ආරක්ෂා වෙන්න, කොරල් පර වලට හානි නොකර ඉන්න, ඒ වගේම නුහුරු මුහුදු තීරවල නාන්න යන එකෙන් වළකින්නත් අමතක කරන්න එපා.

ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන

අපේ රට ඓතිහාසික වශයෙන් වගේම සංස්කෘතික වශයෙනුත් විශාල වටිනාකම් රැසක් සහිත රටක්. ඒකට හොඳම උදාහරණයක් තමයි අනුරාධපුරය, පොළොන්නරුව වගේ පුරාණ නගර. ඒවායේ තියෙන පැරණි දාගැබ්, මාලිගා, පොකුණු බලලා අපේ රටේ තිබුණු ප්‍රෞඪ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි දඹුල්ල රජමහා විහාරය, මහනුවර දළදා මාලිගාව වගේ ආගමික ස්ථානවල තියෙන වාස්තු විද්‍යාත්මක සුන්දරත්වයත් අපිට දැක බලා ගන්න පුළුවන්.

මේ ඓතිහාසික ස්ථානවලට ගියාම ඒවායේ වටිනාකම තේරුම් අරගෙන ඒවා ආරක්ෂා කරන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා. ඒ නිසා කුණු දාන්නේ නැතුව, පෞරාණික වටිනාකමක් තියෙන දේවල් වලට හානි කරන්නේ නැතුව ඒවා ආරක්ෂා කරන්න අපි හැමෝම වග බලා ගන්න ඕනේ.

කඳු නැගීම සහ කඳුකරයේ සුන්දරත්වය

ලංකාවේ කඳුකර ප්‍රදේශවල තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඔයා Adventure  lover කෙනෙක් නම් පිදුරුතලාගල, නකල්ස් වගේ කඳු නගින්න යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහිය, බෝපත්තලාව, හපුතලේ වගේ ප්‍රදේශවලට ගිහින් කඳුකරයේ සුන්දරත්වය විඳින්නත් පුළුවන්.

කඳු නැගීම කියන්නේ ආරක්ෂිත දෙයක් නෙමෙයි. ඒ නිසා කඳු නගින්න යනවා නම් අනිවාර්යයෙන්ම පළපුරුදු මග පෙන්වන්නෙක් එක්ක යන්න. ඒ වගේම තමයි කාලගුණය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කඳුකර ප්‍රදේශවල කාලගුණය හරිම අවිනිශ්චිතයි.

වනජීවී උද්‍යාන සහ ජාතික වනෝද්‍යාන

ලංකාවේ ජාතික වනෝද්‍යාන ගණනාවක් තියෙනවා. යාල, විල්පත්තු, මින්නේරිය, උඩවලව වගේ ජාතික වනෝද්‍යානවලට ගිහින් වන සතුන් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුරුලු උයන් වලට ගිහින් විවිධ කුරුලු වර්ගත් බලන්න පුළුවන්. මේ ගමනාන්ත ආශ්‍රිතව සෆාරි සේවාවන් සපයන ආයතනත් රාශියක් තියෙනව. ඒ අතරින් ඔයාගෙ budget එකට ගැලපෙන, හොඳ සේවක් දෙන ආයතනයක් එක්ක හොඳ සෆාරි අත්ඩැකීමක් ගන්න ඔයාට පුළුවන්. 

වනජීවී උද්‍යානවලට ගියාම සතුන්ට කරදර කරන්නේ නැතුව, ඒ අයගේ නිදහසට බාධා කරන්නේ නැතුව ඉන්න එක තමයි වැදගත්ම දේ. ඒ වගේම තමයි ප්ලාස්ටික් වගේ දේවල් ඒ පැතිවල දාන්නේ නැතුව ඒවටිනාකම ආරක්ෂා කරන එකත් ඔයාගෙ වගකීමක්.

දේශීය ආහාර රස බලන්න අමතක කරන්න එපා!

ලංකාවේ හැම පළාතකම වගේ ඒ ඒ පළාතටම ආවේණික වූ රසවත් කෑම ජාති තියෙනවා. උතුරේ රසවත් දමිළ කෑම, දකුණේ රසම රස මුහුදු ආහාර, උඩරට කැවිලි පෙවිලි, ඌවේ ගම්බද රසවත් ආහාර වගේම හැම පළාතකම වගේ තියෙන රසවත් පලතුරු, එළවළු වර්ග රස බලන්න අමතක කරන්න එපා. කෑම ගන්න තැන ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න. පිරිසිදුකම ගැන සැකයක් තියෙන තැන්වලින් කෑම ගන්න එකෙන් වළකින්න. එතකොට ඔයාලගේ ගමන අතරතුර අසනීප වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.

ඉතින් මේ කරුණු ටික මතක තියාගෙන ඔයාලගේ ඊළඟ ගමන සැලසුම් කරන්න. එතකොට ඒක ඔයාලට අමතක නොවන අත්දැකීමක් වේවි. එහෙනම් සුභ ගමන්!

×